උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ මහා විහාරස්ථානයේ පැවැත්වෙන ශ්‍රී මහ බෝධිරාජ පෙරහැර මංගල්‍යය 2026 ජුනි 29 සිට ජුලි 12 දක්වා අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට නියමිතය.
ඓතිහාසික ශ්‍රී මහ බෝධින් වහන්සේ රෝපණය කර වසර 50ක් පිරීම නිමිත්තෙන් මෙවර පෙරහැර විශේෂ අර්ථයකින් සංවිධානය කෙරේ.
මෙම උත්සවය සාර්ථකව සංවිධානය කිරීම සඳහා මූලික සාකච්ඡාව 2026 පෙබරවාරි 27 දින ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ගාල්ල දිස්ත්‍රික් ලේකම් කේ.යූ. චන්ද්‍රලාල් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
උඩුගම ශ්‍රී මහ බෝධිරාජ පෙරහැරේ මූලික සංවිධාන කටයුතු පිළිබඳ 2026.02.27 වන දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවට අනුව
වන්දනා ගමන් ආඥා පනතේ 2 වගන්තිය යටතේ 2016.03.01 දිනැති අංක 1951/11දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් රාජ්‍ය උත්සවයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ මහා විහාරස්ථානයේ විහාරාධිපති පුජ්‍ය උඩුගම සාරානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් කටයුතු සංවිධානය කෙරේ.
මේ අවස්ථාව සඳහා එක්වෙමින් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කේ.යූ චන්ද්‍රලාල් මහතා පැවසුවේ සංස්කෘතිකාංග රැකගැනිම සහ ප්‍රවර්ධනය අතිශය වැදගත් බවයි.
පෙරහැර මූලික සංවිධාන කටයුතු අදාළ ආයතන වෙත පැවරීමට මෙහිදී දිස්ත්‍රික් ලේකම්වරයා කටයුතු කළේය.
ජාතික ජල සම්පාදන මණ්ඩලය ,ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය ,පළාත් පාලන ආයතන ආදී ආයතන මේ අවස්ථාව සඳහා එක්විය.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන )ජී.ජී ලක්ෂ්මී කාන්ති මෙනවිය ,නාගොඩ ප්‍රාදේශීය ලේකම් සදිශානි යද්දෙහිගේ මහත්මිය, සහකාර දිස්ත්‍රික් ලේකම් ටී.බී නලින්ද උදය කුමාර මහතා , ආරක්ෂක අංශ,විවිධ ආයතන නියෝජනය කරන රාජ්‍ය නිලධාරීන්, පෙරහැර සංවිධායක කමිටුවේ නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගි වූහ .