විහාරස්ථානයේ ඉතිහාස කතාව
වසර 120 කට අදික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍යාමොපාලී වංශික මහා නිකායේ මල්වතු විහාර පාර්ශවයට අයත් ඉපැරණි විහාරයකි. උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ විහාරය මෙහි ආදි කතෘවරයානන් වහන්සේ අතිපූජ්‍ය පනංගල දේව රක්ඛිත මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේය. ඉන්පසු මෙහි විහාරාධිපති පදවියට පත්වන්නේ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් ගෙනදුන් විශ්ව කීර්තිධර ගාලු පලාතේ ප්‍රධාන සංඝනායකව වැඩවිසූ ලෝක බෙෘද්ධ සාම මහා සංඝ සම්මේලනයෙන් ප්‍රධාන සභාපති දූරය හෙබවූ අතිපූජ්‍ය නෙලුවේ ශ්‍රී ගුණානන්ද නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේය. අතිපූජ්‍ය නෙලුවේ ශ්‍රී ගුණානන්ද නාහිමියන් වහන්සේගේ ඉල්ලීමකට අනුව එවකට ඉන්දීය මහා බෝධි සමාගමේ ප්‍රධාන සභාපති භාරත දේශයේ ප්‍රධාන සංඝනායක අති පූජ්‍ය නෙලුවේ ශ්‍රී ජිනරතන නාහිමියන්ගේ මැදිහත්වීම මත එවකට ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය වරිය වූ ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය වරිය වූ ඉන්දිරා ගාන්ධි මැතිණියගේ සහයෝගයෙන් දෙරට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව ඉන්දියාවේ විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශ්‍රී මහා බෝධි ශාඛාවක් 1976 ජනවාරි 10 වන දින කටුනායක ගුවන්තොටුපලට වැඩම කරවන ලදි. රතු පලසක් මතින් එම බෝධිය තම හිසින් පිළිගනු ලැබූයේ එවකට ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති විලියම් ගොපල්ලව මැතිතුමා විසිනි. එම ශ්‍රී මහා බෝධි ශාඛාව 1976 ජූලි මස 11 වන ඇසල පුන් පොහෝදා එවකට ගාල්ල මහ දිසාපති වරයා වූ බ්‍රැඩ්මන් වීරකෝන් මැතිතුමාගේ සුපින්බර සුරතින් උඩුගම ශ්‍රී සාසනාලංකාරාරාම විහාරස්ථානයේ උඩමලුවේ ලක්ෂ සංඛයාත ජනයාගේ සාදු නාද මැද රෝපනය කරන ලදි. එයට උපහාර පූජා පිණිස සෑම වර්ශයකම ජනවාරි මස ඓතිහාසික උඩුගම ශ්‍රී බෝධිරාජ පෙරහැර අලි ඇතුන් පිරිවරා උඩරට, පහතරට, සබරගමු නර්තනාංග රැසකින් සමන්විතව මහත් හරසරින් පවත්වනු ලබයි. 2016 මාර්තු මස 01 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ඓතිහාසික උඩුගම ශ්‍රී බෝධිරාජ පෙරහැර ජාතික උත්සවයක් ලෙසින් ප්‍රකාශයට පත්කර ඇත. ශ්‍රී මහා බෝධි ශාඛාවක් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන එකම පෙරහැර වන්නේද මෙයයි. එමෙන්ම මෙම බෝධිරාජයාණන් පිදීම වෙනුවෙන් උඩුගම ශ්‍රී සාසනාලංකාරාරාම විහාරාධිපති, යටලමත්ත ශ්‍රී සුමංගලාරාම පාලක විහාරාධිපති ගෞරව ශාත්‍රවේදී ශාත්‍රපති පූජ්‍ය උඩුගම සාරානන්ද හිමි විසින් මහ බෝ වන්දනාව නමින් බෝධිරාජයානන් වහන්සේ මහත් හරසරින් පුදනු ලබයි. එවන් පූජනීය උරුමයක වන්දනීය බෝ රදුන් වැඩ සිටින ශ්‍රී සාසනාලංකාරාරාම පුරාණ විහාරය ශ්‍රී ලංකා මාතාවට මහත් අභිමානයක් එක් කරන තවත් සුපින්බර පිංබිමකි.