උඩුගම මහා විහාරය ලෙස ප්‍රසිද්ධ උඩුගම ශ්‍රී ශාසනලංකාරාරාම පුරාණ මහා විහාරයේ විහාරාධිකාරී අති පූජ්‍ය උඩුගම සාරානන්ද හිමිපාණන් වහන්සේ ප්රමුඛ ප්‍රධාන භාරකාර නිළමේ වන නීතිඥ පුලින් නානායක්කාර මහතා සහ ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ මහා විහාරයේ ජය ශ්‍රී මහා බෝධියේ භාරකාර නිළමේ චාමර සමරවික්‍රම මහතා, ශ්‍රි මහා විශ්ණු දේවාලය ප්රමුඛ පංච මහා දේවාල භාරකාර නිළමේ චමිඳු බණ්ඩාර මහතා සහ විහාරයේ විදේශ කටයුතු සම්බන්ධීකරණ නිළමේ වන සරත් ද අල්විස් මහතා සමඟ එක්ව, ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරිය වූ දිවංඝත ශ්‍රීමත් ඉන්දිරා ගාන්ධි මැතිණිය ස්මරණය කරමින් ගෞරවය හා කෘතඥතාව පළ කිරීම සඳහා ශ්‍රී රාහුල් ගාන්ධි මැතිතුමා හමුවිය. එමෙන්ම ශ්‍රී රාහුල් ගාන්ධි මැතිදුන් විසින් අප දූත පිරිස සාදරයෙන් පිළිගැනුණු අතර ඒ මොහොතේදී ඓතිහාසික ශ්‍රී මහා බෝධි පෙරහැර සහ බුදු දහම ගැන සහ සුහද පිළිසඳරක යෙදුණි.
1976 වසරේදී ශ්‍රීමත් ඉන්දිරා ගාන්ධි මැතිණිය විසින් රාජතාන්ත්‍රිකව උඩුගම මහා විහාරයට ශ්‍රී මහා බෝධියෙන් ලබා දුන් පූජණීය ශාඛාව, ශ්‍රී ලංකා–ඉන්දියා මිත්‍රත්වය හා ආගමික–සංස්කෘතික සබඳතා සංඛේතවත් කරන අතිමහත් ආධ්‍යාත්මික හා ඓතිහාසික වටිනාකමකින් යුක්ත වේ. එම සුවිශේෂී ප්‍රධානයට වසර පනහක් සපිරෙන 2026 වසර සනිටුහන් කරමින්, එම උරුමය හා දෙරට අතර පවතින දිගුකාලීන සබඳතාවය අනුස්මරණය කිරීම සඳහා, ජයසිරි මහා බෝධිය නිරූපණය කරන උඩුගම ශ්‍රී මහා බෝ අනුරුවක් ශ්‍රී රාහුල් ගාන්ධි මැතිතුමා වෙත ගෞරවයෙන් පිළිගන්වනු ලැබීය.